Skip to main content

කියුබාව අලුත් කරන්න - ඇමරිකාව අලුත් වෙන්න

 කියුබාව සොයා ගැනීම





1492 ඔක්තෝම්බර් 28 ස්පාඤ්ඤ දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොළොම්බස් ගොඩ බට, මෙක්සිකානු බොක්කේ නැගෙනහිරට හා ෆ්ලොරිඩා සමුද්‍ර සන්ධියේ දකුණට වන්නට පිහිටි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 109844 වන 17 වන විශාලතම දූපත ඔහු නම් කරනු ලැබුවේ ජුවානා ලෙසය. ඒ එවකට ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි කුමරා ගේ නමිනි. නමුත් ඒ වන විටත් එහි ජීවත් වූ ස්වදේශික ටායිනෝ (Taíno) ජනයා එම භූමිය හඳුන්වනු ලැබුවේ කියුබාව ලෙසය.




එතැන් පටන් 1898 වර්ෂයේ ස්පාඤ්ඤය ඇමරිකන් යුද්ධය අවසන් වන තෙක් කියුබාව ස්පාඤ්ඤ යටත් විජිතයක් ලෙස පැවතුණි.


කුළුබඩු රත්තරන් සහ වෙනත් සම්පත් සොයමින් පැමිණි නැගී එන අධිරාජ්‍යයන්ගේ නියෝජිතයන් වූ කොළොම්බස් ඇතුළු තවත් දේශ ගවේෂකයන් ඔවුන් පැමිණ ශත වර්ෂ 4 ක් ගතවන තැන දී ඇමරිකානු මහද්වීපයේ තම බලය තහවුරු කොට ගෙන තිබුණි.


ඇමරිකාවේ නැගීම හා ව්‍යාප්තිය




1607 දී වර්ජීනියාවේ ජේම්ස් ටවුන් ප්‍රාන්තය පිහිටුවමින් ඇරඹී එංගලන්ත යටත් විජිත ප්‍රාන්ත 13ක් වර්ෂය 1776 ජූලි 4 නිදහස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 1783 වර්ෂයේදී ඇමරිකානු ධනේශ්වර විප්ලවය සම්පූර්ණ කරමින් සන්ධීය සමූහාණ්ඩුවක් බිහි කරන ලදී.


එතැන් සිට එක්සත් ජනපද සමූහාණ්ඩුව සිය දේශ සීමා පුළුල් කර ගැනීම සඳහා විවිධ ප්‍රදේශ මිලදී ගැනීම් හා යුද්ධමය අත්පත් කර ගැනීම් විශාල ගණනක් ඔස්සේ එහි දේශ සීමා පුළුල් කරගන්නා ලදී.


කියුබාවට රස වැටීම




1823 අප්‍රේල් 28 ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් ක්වින්සි ඇඩම්ස් එවකට ස්පාඤ්ඤය බාර ඇමරිකානු අමාත්‍යවරයා වන හියූ නෙල්සන් වෙත ලිපියක් ලියමින් කියුබාව මිලදී ගැනීම සඳහා ප්‍රථම වරට යෝජනා කර සිටියේය.


"These islands, from their local position, are natural appendages to the North American continent; and one of them, Cuba, almost in sight of our shores, from a multitude of considerations has become an object of transcendent importance to the political and commercial interests of our Union. Its commanding position with reference to the Gulf of Mexico and the West India seas; the character of its population; its situation midway between our southern coast and the island of San Domingo; its safe and capacious harbor of the Havana, fronting a long line of our shores destitute of the same advantage; the nature of its productions and of its wants, furnishing the supplies and needing the returns of a commerce immensely profitable and mutually beneficial; give it an importance in the sum of our national interests, with which that of no other foreign territory can be compared, and little inferior to that which binds the different members of this Union together."

-John Quincy Adams


ඔහු මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ දූපතේ පිහිටීම පිළිබඳ වන අතර එය ඇමරිකානු සමූහාණ්ඩුවේ දේශපාලන සහ වෙළෙඳ කටයුතු සඳහා අති විශාල වැදගත්කමක් දරන බව ඔහුගේ අදහසයි.


කියුබානු නිදහස් සටන




කියුබාවේ නිදහස වෙනුවෙන් ස්පාඤ්ඤය සමඟ අවස්ථා තුනකදී කියුබානු ජනයා සටන් වැදුණු අතර ඉන් පළමුවැන්න 1868 සිට 1878 දක්වා දිග්ගැස්සුණු දස අවුරුදු යුද්ධයකි. දෙවැනි නිදහස් සටන කෙටි කලකින් මර්දනය කළ අතර තුන්වැනි නිදහස් සටන 1895 දී ජොසේ මාටි ඇතුළු කියුබානු විප්ලවීය පක්ෂයේ නායකත්වයෙන් ආරම්භ විය.


1894 වකවානුව විට කියුබානු ආර්ථිකයේ සැකැස්ම පිළිබඳ අධ්‍යයනය ඒ වන විට ඇතිව තිබූ ආර්ථික අර්බුදය සහ නිදහස් සටනේ ඇවිලී යාම කියවා ගැනීම පහසු කරයි.


                                       ආනයන අපනයන


ඇමරිකා එක්සත් 


ජනපදය                             38%          90%


ස්පාඤ්ඤය                        35%           6%


කියුබාව මූලික වශයෙන්ම සීනි නිෂ්පාදනය පදනම් කරගත් ආර්ථිකයකට හිමිකම් කියූ අතර එහි ප්‍රධානතම ගැනුම්කරුවා වූයේ ඇමරිකාවයි. අපනයන ආදායමෙන් 90% ක්ම ඇමරිකාව මත රඳා පැවති අතර ස්පාඤ්ඤය 6% තරම් සුළු ප්‍රමාණයකට දායකත්වය සපයන ලදී.

එසේම කියුබාවේ ආනයන වියදමෙන් 38% ඇමරිකානු භාණ්ඩ සඳහා වැය වී තිබේ. මෙවැනි තත්වයක් යටතේ 1894 දී ස්පාඤ්ඤය ඇමරිකාව සමග පැවති කියුබානු වෙළෙඳ ගිවිසුම අවලංගු කර දැමීම හේතුවෙන් විවිධාංගීකරණය නොවුණු, තනි රටක් මත සියයට අනුවක්ම යැපෙන ආර්ථිකයක් හිමි රටක් ලෙස කියුබාව බරපතළ ආර්ථික අර්බුදයකට ඇද වැටුණු අතර එය  ස්පාඤ්ඤයට එරෙහි නිදහස් සටන ශක්තිමත් කරන්නට හේතුවිය.


එසේම ස්පාඤ්ඤ අධිරාජ්‍ය ඇමරිකානු මහද්වීපය තුල එක්සත් ජනපද දේශ සීමා ආසන්නයෙන් ඉවත් කර දැමීම එක්සත් ජනපදයට වඩා වාසිදායක වන බව අවබෝධ කරගත් එක්සත් ජනපද පාලනය තුන්වෙනි නිදහස් සටනේ නායකයන්ගේ ආරක්ෂිත ක්ෂේම භූමිය බවට ඇමෙරිකාව පත් කරලීමටත් ඇමරිකන් ජනතාවගේ සහය ලබා ගැනීම සඳහා වූ ප්‍රචාරක මධ්‍යස්ථානය ලෙස පැවතීමට ඉඩ හරින ලදී.


USS Maine නාවික යාත්‍රාව හවානා නගරයේ වරායේ දී පුපුරා මුහුදුබත් වීමේ සිද්ධිය මුල් කරගනිමින් එක්සත් ජනපද ආන්ඩුව ස්පාඤ්ඤයට විරුද්ධව යුධ ප්‍රකාශ කළ අතර ඒ වන විටත් කියුබානු නිදහස් සටන්කාමීන් ඉදිරියේ පරාජය වෙමින් සිටි ස්පාඤ්ඤ හමුදාවේ පරාජය එයින් වේගවත් විය.




පැරිස් ගිවිසුම අනුව කියුබාවේ බලය ජෙනරාල් බෲක් යටතේ මිලිටරිය ආණ්ඩුව වෙත පවරා ගනිමින්  නිදහස් සටන්කාමීන්ගේ කියුබානු ධජය වෙනුවට ඇමරිකානු ධජය ඔසවන ලදී.


එක්සත් ජනපදයේ දැඩි බලපෑම මත නව ව්‍යවස්ථාවට ප්ලැට් ව්‍යවස්ථා සංශෝධනය එනම් කියුබාවේ ආරක්ෂාවේ නාමයෙන් කියුබානු අභ්‍යන්තර කටයුතු සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා එක්සත් ජනපදයට මැදිහත් වීමේ අයිතිය නිල වශයෙන් ව්‍යවස්ථාගත කිරීම සිදුකිරීමෙන් අනතුරුව කියුබානු ජන රජය පිහිටුවා තෝමස් එස්ට්‍රාඩා පල්මා එහි පළමු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී.




එතැන් සිට 1959 දක්වා වූ කාලය තුළ සිව්වතාවක් හමුදාමය මැදිහත් වීම් හා තවත් බොහෝ ගණනක් රාජ්‍යතාන්ත්‍රික බලය පෙන්වීම් ඔස්සේ එක්සත් ජනපදය විසින් කියුබාවට බලපෑම් සිදු කර ඇත. මේ සියලුම සාධක එක්සත් ජනපදය වෙත සිය දූපත් අසල්වාසියා භූ දේශපාලනික ව කොතරම් තීරණාත්මක ලෙස බලපා ඇත්ද යන්න පැහැදිලි කරයි.




කැස්ත්‍රෝගේ කියුබාව




වසර 57 ක් එක්සත් ජනපද බලහත්කාරය සහ ඇඟිලි ගැසීම් මැද පත්කර ගනු ලැබූ කියුබානු ජන රජයේ අවසන් ඇමරිකන් ගැති අන්ත දූෂිත ජනාධිපති ෆුල්ජෙන්සියෝ බැටිස්ටා බලය අත්හැර පලා යන විට රටෙහි සැබැ තත්වය කියවා ගැනීම සඳහා කියුබානු ආර්ථිකයේ හැඩගැස්ම අධ්‍යයනය කළ යුතුය.




ඒ අනුව උක් වගාවෙන් 40%, මහා පරිමාණ ගොවිපල 90%, ඛනිජ සම්පත්, තෙල් බෙදා හැරීම හා සේවා අංශය 80% ඇමරිකානු සමාගම් සතුවිය. ඉතා නිශ්චිත ලෙසම කියුබාව එක්සත් ජනපද උවමනාවන් සඳහා රූකඩයක් කොටගෙන තිබුණි.


"අප අපගේ ව්‍යාපාර මඟින් මුළු කියුබාව ම අත්පත් කරගෙන සිටියමු. කොටින්ම කියතොත් ඔවුන් මේ ක්‍රමයෙන් ගැලවීමට සූදානමක්, බලාපොරොත්තුවක් ඇතැයි අප කිසිසේත් බලාපොරොත්තු නොවූයෙමු. ඒ අනුව කිසිදු අරගලයක් තර්ජනීය මට්ටමකට පැමිණීමට පුළුවන් වූයේ නැති නිසා ෆිදෙල්ගේ අරගලයද අපේ දැනීමට භාජනය වූයේ නැත. එසේ වූවා නම් හමුදා බලය මගින් ඉතා පහසුවෙන්ම මේ ව්‍යාපාරය සුන් කර දැමීමට හැකිව තිබුණි"


ඇමරිකානු ඉතිහාසඥයෙකු වූ ටෙරන්ස් කැනන් ඉතා නිවැරදි ලෙස ඇමරිකානු උවමනාවක් පැහැදිලි කර ඇත.


එවන් ජන පීඩක පාලනයකින් පීඩාවට පත් වූ ජනතාවකගේ සහයෙන් බලය අත්පත් කරගත් කැස්ත්‍රෝ ඇතුළු කණ්ඩායම ඉතා නිශ්චිත ලෙසම මීළඟ පියවර ලෙස තෝරාගනු ලැබූයේ කියුබානු ජනජීවිතය පීඩාවට පත්කළ තම මාතෘ භූමිය එක්සත් ජනපදයේ ආර්ථික දේශපාලනික යටත්විජිතයක් බවට පත්කළ කියුබානු භූමියේ ඇමරිකානු උවමනාව ක්‍රියාත්මක කළ ඇමරිකානු සමාගම් ජනසතු කිරීමේ ක්‍රියාවලියයි. එහි ආරම්භය සටහන් කරමින් 1959 ජූනි 03 දින නව කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ නීතිය හඳුන්වා දෙන ලදී.


සම්බාධක


1960 පෙබරවාරි 4  සෝවියට් අමාත්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ඇනස්ටස් මිකෝයාන් සිය කියුබානු සංචාරයේදී සීනි ටොන් මිලියනයක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක 12 අවුරුදු ණය ආධාරයක් ලබාදීම සඳහා කියුබානු මධ්‍යම බැංකුවේ සභාපති චේගුවේරා සමග එකඟතාවක් ගොඩනගා ගන්නා ලදී. ඒ අනුව කියුබානු කෘෂි නිෂ්පාදන වෙනුවෙන් සෝවියට් බොරතෙල් සහ වෙනත් තාක්ෂණික උපකරණ හුවමාරු කර ගැනීමට නියමිත විය.




1960 අප්‍රේල් 6 අන්තර් ඇමරිකානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් මැලරි, අන්තර් ඇමරිකානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් රුබොටම් වෙත සන්දේශයක් යොමුකරමින් කැස්ත්‍රෝ විනාශ කළ හැක්කේ ඔහු වෙත රටතුල ඇති අභ්‍යන්තර සහයෝගය අහිමි කිරීමෙන් බවත් ඒ සඳහා ආර්ථිකමය දුෂ්කරතා ඇති කිරීම මගින් කලකිරීම සහ අතෘප්තිය ජනිත කළ යුතු බවත්ය.


"The only foreseeable means of alienating internal support is through disenchantment and disaffection based on economic dissatisfaction and hardship."

Source: Department of State, Central Files, 737.00/4–660.


නැවතත් 1960 ජුනි 02 දින රාජ්‍ය ලේකම් අමතමිනි සන්දේශයක් යොමුකරන අන්තර් ඇමරිකානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් රුබොටම්, ලේකම් ඇන්ඩර්සන්ගේ උපදෙස් මත කියුබාවෙ ඒ වන විටත් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වෙමින් පැවති ඇමරිකානු තෙල් සමාගම් රුසියානු බොරතෙල් පිරිපහදු කිරීම ප්‍රතික්ෂේප කළ යුතු බව උපදෙස් ලබා දෙන ලදී.


ඒ අනුව සෝවියට් රුසියානු සහයෝගය මත එක්සත් ජනපද ගැති භාවයෙන් තොර නව ආර්ථික මාවතක් වෙත පියවර තබමින් සිටී කියුබානු පාලනය ආර්ථිකමය වශයෙන් අපහසුතාවයට පත් කොට බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණය එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලදී.


කැස්ත්‍රෝ පසුබෑම වෙනුවට සටන් වැදීම තෝරාගත් අතර 1960 ජූලි මාසයේදී කැස්ත්‍රෝ ආණ්ඩුව ඇමරිකානු සමාගම් වන්දි ගෙවීමකින් තොරව ජනසතු කළ අතර අයිසන්හවර් ජනාධිපතිවරයා එයට ප්‍රතිචාර ලෙස වෙළඳ සම්බාධක පනවන ලදී.



1961 දී නැවතත් ඌරු බොක්ක ප්‍රදේශයෙන් කැස්ත්‍රෝ විරෝධී කියුබානුවන් යොදාගනිමින් ආක්‍රමණයක් මෙහෙයවූ එක්සත් ජනපදය  එය අසාර්ථක වීමෙන් පසු කියුබාව වෙත පූර්ණ වෙළඳ සම්බාධක පනවන ලදී. ඒ අනුව කියුබානු ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීම පූර්ණ ලෙස බාධා කරන ලදී.


එක්සත් ජනපද බාධා කිරීම හමුවේ සෝවියට් රුසියාව මත වෙළඳ හා නිෂ්පාදන කටයුතු සඳහා යැපීමට කියුබාවට සිදුවීය. ඒ අනුව සමස්ථ ආනයනික භාන්ඩ වලින් 70% වන විට බොරතෙල් සඳහා 90% ක් ම සෝවියට් රුසියාව මත පමණක් යැපීමට කියුබාවට බල කරන ලදී.


ආර්ථිකය විවිධාංගීකරණයට සම්බාධක බරපතළ බාධාවක් කළ අතර උපයනු ලැබූ විදේශ විනිමයෙන් 30% සම්පූර්ණයෙන්ම රඳා පැවැතියේ දුම්කොළ සහ සීනි නිෂ්පාදනය මතය. ඊට අමතරව සෞඛ්‍ය සේවා අපනයනය සහ සංචාරක ව්‍යාපාරය ඩොලර් ගෙන එන මාර්ග බවට පත්විය.


කෙසේ නමුත් 1991 සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමඟ බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන කියුබාව එවන් තත්ත්වයක් යටතේ පවා රට තුළ අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සමත් විය.


වත්මන් අර්බුදය


Covid 19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය බරපතළ පසුබෑමකට ලක් වන අතර 2019 යෙදී මිලියන 4ක් වූ සංචාරකයන් 2021 වර්ෂය වන විට දී 365,000 පමණක් විය. 

නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, ආර්ථික හා සැලසුම්කරණ අමාත්‍ය ඇල්ජන්දෝ ගිල්ට අනුව වසංගතයට ප්‍රමුඛතාවයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීම සඳහා USD මිලියන 833ක් හා PCR පරීක්ෂණ සහ පරීක්ෂණාගාර පහසුකම් සඳහා USD මිලියන 300 ක වියදමක් දැරීමට සිදුවීම සම්බාධක තත්වයන් යටතේ රට තුළ ඖෂධ හිඟයක් ජනිත කිරීමට හේතුවී ඇත.



පහත වැටෙන විදේශ විනිමය සංචිතය සඳහා පිළියමක් ලෙස ද්විත්ව විදේශ විනිම අනුපාත ක්‍රමය ඒකාබද්ධ කිරීමට 2021 වර්ෂයේදීය කියුබානු රජයට සිදුවිය.


එසේම 2022 වර්ෂයේ දී පෞද්ගලික ගණුදෙනු සඳහා නව විනිමය අනුපාත ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.


පසුගිය වසර විස්සකට වැඩි කාලයක් පුරා කියුබාව සමග දේශපාලන සහ ආර්ථික සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කළ වෙනිසියුලාව කියුබාවේ ප්‍රධානතම බොර තෙල් සහ පෙට්‍රෝලියම් සැපයුම්කරු වේ. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව වෙත පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් දිනකට බැරල් 80,000 සැපයූ වෙනිසියුලාවට මේ වන විට සැපයිය හැකිව ඇත්තේ බැරල් 50,000 පමණි. මෙක්සිකෝව සහ රුසියාව වෙතින් හිඟය පියවා ගැනීමට උත්සාහ කළද එය තවමත් ප්‍රමාණවත් වී නොමැත.




කියුබාවේ බොරතෙල් සංචිතයෙන් 40% ක පමණ ප්‍රමාණයක් රඳවා තබන මටන්සාස් ගබඩාව 2022 අගෝස්තු 6 වන දින අකුණු ප්‍රහාරයකින් දැවීයාම රට තුළ ඉන්ධන හිඟයක් මෙන්ම විදුලි අර්බුදයක් ද ඇති කිරීමට හේතු විය.




ස්වාභාවික ව්‍යසනයන්ගෙන් බාධා කිරීම තවත් තීව්‍ර කරමින් සැප්තැම්බර් මාසය ඉයන් සුළිකුණාටුව බටහිර කියුබාව දෙසින් රට තුලට ඇතුළු වී හමා ගියේ ප්‍රධානතම නිෂ්පාදනය වන දුම්කොළ සහ සීනි ගොවිපලවල් සහ ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් විනාශ කරමින්ය. මේ හේතුවෙන් සමස්ත කියුබාවේ ම විදුලි සම්ප්‍රේෂණ ජාලය බිඳ වැටුණු අතර නිවාස 8000 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී තවත් 63,000-68,000 පමණ නිවාස අලාභහානි විය. මේ තත්ත්වය සැලකිය යුතු ආර්ථික පසුබෑමක් රට තුළ ඇති කරන ලදී.




මෙවන් තත්ත්වයක් තුළ ඩයස් කැනල් ජනාධිපතිවරයා සහ කියුබානු රජය නව ආර්ථික වෙනස්කම් සිදු කරමින් පෞද්ගලික අංශයේ මැදිහත්වීම ඉහළ නංවමින්, රාජ්‍ය සමාගම් කාර්යක්ෂමතාව ඉහළ නංවමින් ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම සෙමින් නමුත් ස්ථාවරව ආරම්භ කර තිබේ.  ආර්ථික හා සැලසුම්කරණ අමාත්‍ය ඇල්ජන්දෝ ගිල් ට අනුව කියුබාව තම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී හෝ සෘජු නිෂ්පාදිත භාණ්ඩ ආනයනයේදී එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් සැපයුම් කරුවන් විසින් 60% ක අධිමිලක් (Premium) එකතු කරනු ලබන අතර, එසේම ආනයන භාණ්ඩ තුල එක්සත් ජනපදයට අයිතිය ඇති කොටස් 10% ඉක්මවූ නිෂ්පාදන ආනයනයට ඇති බාධාව ගුවන් සේවා, ජල කළමනාකරණය, සෞඛ්‍ය සේවා හා ප්‍රවාහනය ආදී සෑම ක්ෂේත්‍රයකටම ඉතා දැඩි ලෙස බලපා ඇත. සම්බාධක යටතේ දී කිසිදු බැංකුවක් සැපයුම්කරුවන් වෙත ගෙවීම සඳහා ඉදිරිපත් නොවීම ද කියුබානු ආර්ථිකය බරපතළ අපහසුවකට ඇද දමා ඇත.



එක්සත් ජනපදයේ 5 වන ජනාධිපතිවරයා ජේම්ස් මොන්රෝ යටතේ 8 වන රාජ්‍ය ලේකම් ජෝන් ක්වින්සි ඇඩම්ස් 1823 වර්ෂයේදී කියුබානු දූපත අත්පත් කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ භූදේශපාලනික සක්‍රීය මතවාදය 46 වන ජනාධිපති ජෝ බයිඩන් යටතේය 71 වන රාජ්‍ය ලේකම් ඇන්තනී ජෝන් බ්ලින්කන් ද අද එක්සත් ජනපදය වෙනුවෙන් ක්‍රියාත්මක කරමින් සිටී.


ඉතින් කියුබාවේ තෙල් නෑ, ලයිට් නෑ, වාහන පරණයි, ගොඩනැගිලි පරණයි.. ඔව් ඒ වෙන මොකුත් නිසා නෙමෙයි කියුබාවට එරෙහි අවුරුදු දෙසීයක් (1823-2023) පරණ එක්සත් ජනපද සතුරු ප්‍රතිපත්තිය නිසා.

කියුබාව අලුත් කරන්න - ඇමරිකාව අලුත් වෙන්න.


චන්දිම




Comments

Popular posts from this blog

තොටියෙක් තැවෙනවා හබලක් අතේ තියා

තිසරුන් තෙමන ගිනියම් මහා රැයක් ගෙවා බඳ රැලි බිඳින නැඹ විල යාගය කලා රත් මධු වගුල විල්තෙර යන දෙගොඩතලා තොටියෙක් තැවෙනවා හබලක් අතේ තියා

ඉඳින් අපි හැඟුම් වලට ඉඩ දෙමු...

වික්ටර් ගේ මේ ගීතය කාලෙකින් කනවැකුණු මොහොතේ එක්වරම එහි ඇති අතිශෝභාමාන උපමා උපමේය මගේ හදවත පමණක් නොව භෞතිකයද මොහොතකට නතර කරවන්නට සමත්වුණු බවක් මට හැඟීයේ.... අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . . හඳ පානේ . . මඳ අඳුරේ . . . අත් පටලා යමු ආයේ . . . ප්‍රේමනීය මිනිසෙක් සිය ප්‍රේමිනිය වෙත මේ මුදා හරින ඉල්ලීම ඇත්තෙන්ම මහා බරක් සිය සිත්හි දරාගනිමින් කරන්නේ යැයි වියතක් තරම් වූ කුඩා ඉඩක් පමණක් යෝජනා කිරීමෙන් පමණක්ම වටහා ගතහැකි. ප්‍රේමනීය හැඟුම් කිසිවිටකත් මොහොතකින් හෝ වියතක් තරම් ඉඩක දිගහැරීම උගහට බවක් අවශ්‍යයෙන්ම ප්‍රකාශ තුල ගැබ්කරන රචකයා මේ නොහැකියාව නැතිනම් ඇරයුමෙ අභව්‍ය ස්වරුපය ගෙන හැර දක්වන්නේ එවන් කෙටි කලකින් කෙටි ඉඩකින් ඔහුගේ ඇරයුම දෙදෙනා අත්පටලවා ගෙන හඳපානේ ඇවිදයාමේ මිහිරි ආද්‍යාශය බව කීමෙනි. ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී . . අවුදින් හෙමින් රහසින් මුමුනා හඳ පානේ මඳ අඳුරේ . . . මේ පෙම්වතාගේ ආදරණිය ආද්‍යාශය වූකලී වඩාත් ලෝකයෙන් වෙන්වූ, නොඑසේනම් ලොවට හොරා,එසේත් නැතිනම් අඩුම තරමින් සිය සෙවනැල්ල පවා නොදැන හමුවන එකක් විය යුතු යැයි යෝජනා කරනු