Skip to main content

ආදරය තවදුරටත් ආදරය නොවේ.. Love is not Love anymore..


ආදරය තවදුරටත් ආදරය නොවේ..

ඇස්වාට්ටුව හරහා ටවුන් හෝල් පැමිණ අත් පටලවා ගනිමින් විහාරමහා දේවියේ ගස් අතර සැඟවී ගිය අපේ කාලේ පෙම්වතුන් අද නැවත විවාහවී හෝ තනිකඩව හෝ විහාර මහා දේවිය වෙත පැමිණිය හොත්, ඒ වටා වෙනදා මෙන් බැඳ නැති යකඩ දැල්, ගස් අතරින් දිවෙන ජොගින් ට්‍රැක් ඔවුන් වෙත කුමන වර්ගයේ කම්පනයක් ජනිත කරනු ඇතිද? තමාගේ පැරණි ගුරුවරුන් සමග පෙම්වතුන්ගේ දිනයට රොද බැඳ, සතුටු උයනේ දරුවන්ගේ ඉලෙක්ට්‍රික් කාර් පදිමින්, රතු පැහැ බැලුම් පුම්බමින් පෙම් පෙළපාලි ගියවුන් සතුටු උයනේ නටබුන් දැකීමෙන් කවරනම් කම්පනයකට ලක්වනු ඇතිද?
වයස අවුරුදු දහඅට පිරුණු දිනට පසු දිනම තම වැඩිමහල් පෙම්වතා සමග රහසින් විවාහ වන තරුණියක් වසරකුත් මාස කිහිපයකට පසු තරුණයන් කිහිපදෙනෙකු තම සතුට වෙනුවෙන් සොයා යන්නේත්, විවාහයට සියලු පාර්ශව හි ආශීර්වාද මැද දින නියම කරගන්නා පෙම්වතෙකු හා පෙම්වතියක, එක්වනම තම සම්බන්ධය අත්හරිනට යෝජනා කරන පෙම්වතිය ඉදිරියේ පෙම්වතා අසරණ වන්නේත්, මධුසමය නිමවූ සැනින් තම සැමියා නැති නිවසට බිරිඳ අනියම් පෙම්වතා කැඳවාගන්නෙත් ඒ ඒ පුද්ගලයාගේ හුදු චරිත ස්වභාය නිසාවෙන් පමණක්ද?    

ඔබ එන්න සුළගේ දැවටිලා -මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා - පෙම්කරමු රහසේ සැඟවිලා

සෞන්දර්යාත්මක කවි, ගායනා, සුරතල් තොදොල් වීම් මැද ඇරඹෙන බොහෝ ප්‍රේමනීය සම්බන්ධතා  බොහෝ කටුක අවසානයන් කරා ළඟා වන්නේ වඩා තාර්කික නමුත් ඔවුන්ද නොසිතනා අයුරින් වීම ලාංකීය සමාජය තුල වඩාත් සුලභ අත්දැකීම වී ඇත. තවදුරටත් ලාංකීය සමාජ සන්දර්භයේ ආදරය හඳුනා ගන්නා ආකාරය ආත්ම මුලික වන්නේද විෂය මුලික වන්නේද යන්න අධ්‍යනය කළයුතුව ඇත.

ආදර ප්‍රවර්ග
1977 දී ජෝන් ලී සාධක 1500 පමන විශ්ලේෂණයෙන් පසු ආදරයේ ප්‍රධාන වරණයන් හයක් (06) යෝජනා කරන ලදී. ඔහුට අනුව ;
එරොස් - පරමාදර්ශී අනෙකෙකු කෙරෙහි දක්වන ශෘංගාරාත්මක ආශාව.  
ලුඩස් - විනෝදකාමී, සෙල්ලක්කාර ආදරය
මේනියා - පුර්ව විනිශ්චයක සිට මෙහෙයවෙන ඊරීෂ්‍යයා සහගත ආදරය
අගේප් - අනෙකා කෙරෙහි දක්වන පරාර්ථකාමී ආදරය
ප්‍රගැමා - ප්‍රායෝගික/උපයෝගී ආදරය
අපේ යුගයේ ආදරයේ පැවැත්ම මේ අයුරු වේ.
ඉන් වසර හතකට පසු 1984 දී ස්ටර්න්බරර්ග් හා ග්‍රේසෙක් මේ සියලු සාධක හරහා දිවෙන පොදු සාධකයක් ලෙස අන්තර්පුද්ගල අදහස් හුවමාරුව, බෙදාගැනීම හා සහයෝගය හදුනාගත් අතර පසුව එය ඉන්ටමසි ලෙස නම් කරනලදී.

තුන්කොන් න්‍යාය
පසුව 1986 දී ස්ටර්න්බර්ග් විසින්ම තවදුරත් අධ්‍යනයෙන් පසු ආදරයේ තුන්කොන් න්‍යාය ඉදිරිපත්කරමින් ආදර ප්‍රවර්ග අටක් [08] දක්වා ඉහල දමන ඔහු ආදරය ආත්මීය බැඳීම් [Intimacy], ලලසාව [Passion] හා කැපවීම/ප්‍රයාපනය [Commitment] හි අඩුවැඩි සංකලනය තුලින් ගොඩනැගෙන බව යෝජනාකරන ලදී.
තවදුරටත් ආත්මීය බැඳීම විස්තර කරන ඔහු සමීප බව, සැලකිලීමත් බව හා භාවමය සහයෝගයේ නිර්මිතයක් ලෙසද, ලලසාව භාවමය හා ශාරීරික ප්‍රබෝධමත්බව [ලිංගික හා භෞතික] ලෙසද, කැපවීම අනෙකා වෙනුවෙන් ආදරය කිරීමට කැපවීම හා එය පවත්වාගෙන යාමට කැපවීම ලෙසට පැහැදිලි කරයි. ඒ අනුව මේ ත්‍රිත්ව මුලයන් ගේ සංකලනයෙන් සිය ප්‍රවර්ග අට පැහැදිලි කරයි.
ආදරමය නොවන [ Non-love] - ත්‍රිත්ව මුලයන් නොමැති විට ඇතිවේ.   
කැමැත්ත [Liking] - ආත්මීය බැඳීම නම් මුලය පමණක් පවතින විටදී ඇතිවේ.
මෝහනීය ආදරය [Infatuated love] - ලලසාවේ උපරිම තත්වයට පත්වීමෙන් ඇතිවේ.
හිස් ආදරය [Empty love] - කැපවීම පමණක් ඇතිවිට ජනිතවේ.
රොමැන්තික ආදරය [Romantic love] - ආත්මීය බැඳීම හා ලලසාවේ සංකලනයෙන් ඇතිවේ

සහයක ආදරය [Companiated love] - ආත්මීය බැඳීම හා කැපවීමේ සුසංයෝගය මෙහි පැවැත්ම වේ.
නොවැදගත් [Fatuous love] - ලලසාව හා කැපවීමේ සංයෝගයෙන් ජනිතවේ.
පරිපුර්ණ ආදරය [Consummate love] - ආත්මීය බැඳීම, ලලසාව හා කැපවීම යන ත්‍රිත්ව මුලයන්ගේ පරිපුරන සංයෝගයෙන් ඇතිවේ.

දැන් අප විසින් නුතන ආදරය සම්බන්ධයෙන් විවිධ පර්යේෂකයන් විසින් ගොඩනගන ලද න්‍යායාත්මක දැනුම අපේ කාලේ පෙම්වතුන් වෙත තුලනාත්මකව ආදේශ කළයුතුව ඇත. 
බොහෝ සමාජමය ප්‍රපංචයන් අධ්‍යයනයේදී මෙන්ම ආදරය සම්බන්ධයෙන් ද ස්ටර්න්බර්ග් මෙන්ම බොහෝ පර්යේෂකයන් සිය ප්‍රවේශය ලබන්නේ ආත්මීය යථාර්තය ඔස්සේ විම සුවිශේෂී මෙන්ම අදාල න්‍යායාත්මක වර්ධනයගේ සීමාවන්ද ලකුණු කරයි.

ආදරය, ආදරය ලෙස....
ආදරය, ආදරය ලෙසම නැතිනම් එහිම අභ්‍යන්තර සාධකයන්ගේ සංකලනයක් ලෙස අර්ථදක්වා ගැනීම තුලින් ආදරයේ විවිධ ස්වරූප හඳුනාගැනීමට පහසුවන නමුත් සැබෑ ලෙසම එවැනි ස්වරූපයන් උත්පාදනයෙ  ලා අභ්‍යන්තර සාධක මෙහෙයවනු ලබන්නේ කවරනම් ගාමක බලවේගයන් විසින්ද යන්න කෙරෙහි අවධානය යොමුනොවේ. එසේම ආදරය හුදු පුද්ගල බද්ධ, චරිතමය ගතිලක්ෂණ මත තීරණය වනවායයි පමණක් හෝ ඒ දෙසට වැඩි බරක් තැබීමෙන් නිවැරදිව හඳුනාගත් ගැටළුවක් පවා වඩා නිවැරදි ලෙස නිරාකරණය කරගැනීමට නොහැකිවීම මෙහිතිබෙන මුලිකම ගැටලුවකි.  
ජෝන් ඇලන් ලී ගේ ෂඩ් වර්ණ ආදරයත්, ස්ටර්න්බර්ග් ගේ ආදර අශ්ටකයත් අපට ඒත්තු ගන්නවන්නට උත්සහ කරනුයේ ආදරයේ ගැටළු, එහි සුන්දරතා, විෂමතා හා ඒවා කෙරෙහි පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් දක්වන ප්‍රතිචාර තීරණය වෙන්නේ ආදරයේ ආත්මීය (Subjective) යතාර්ථයක් හරහා බවය. ඔවුන් ආදරය එයින්ම තීන්දුවන, බාහිර යථාර්තයෙන් ස්වායත්ත එකක් ලෙස ගෙනහැර දක්වයි.
එසේම ඇතැම් විවේචකයන් ආදරය හුදු බාහිර යථාර්යෙන් පමණක්ම තීරණය වන බව පවසන අතර එය ආත්මය (Subject) වෙනුවට සාරාර්ථය (Substance) වර්ධනය කිරීමක් වේ.

ලිබරල් මහත්වරුන්ගේ ආදරය

අන්තෝනියෝ ග්‍රමිස්කිට අනුව අදාල නිශ්චිත මොහොතේ සමාජයක පාලක පන්තිය විසින් එහි හෙජමොනික ආධිපත්‍ය දරන අතර තීරනාත්මක ලෙස සමාජය මත එහි විශ්වාසයන්, පැහැදිලිකිරීම්, සංජානනය හා වටිනාකම් ආරෝපණය කරයි. එය පැහැදිලිවම ඔවුන් වෙතම පෙරලා අනුග්‍රහය දක්වනවා මිස සමස්ත සමාජය මත එනම් බහුතර නමුත් පාලක නොවන පන්තීන් වෙත අනුග්‍රහය නොදක්වනවා ඇත.
ඒ අනුව ධනේශ්වර පරිකල්පනීය සමාජය වන ලිබරල් සමාජය සේවයට කැඳවන ඔවුන් පිඩා රහිත, සුසංවාදී ෆැන්ටසිය තුල අසීමාන්තික විනෝදය සැමට ළඟාකරගත හැකිබව අපට යෝජනා කරයි.
එහි ඔබට අවශ්‍ය දේ මිලදී ගැනීමට හා විකිනීමට කිසිදු බාධාවක් නොවන අතර ජාති, ආගම්, කුල, පන්ති භේද, දුපත් පොහොසත් භේද, අසාධාරණය හා අසමානතාව නොපවතින අතර මිල ගෙවීම හා මිල කිරීම පමණක් පවතිනු ඇත.
මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ මේ කිසිදු අසමානතාවක් මේ ක්‍රමය තුල අහෝසි නොවන නමුත් සියලු අසමානතාවන් මත මිලක් නියම කිරීම මගින් පාලක හෙජමොනියට යටත් කරනු ලැබීමත් ඒ මගින් සමස්තය තුලින් දිවෙන හුයක් මෙන් වූ ඒකමිතියක් නැතිනම් සුසංවාදයක් ගොඩනැගීමයි.
එතැන් සිට ස්ත්‍රී ශරීරයට මිලක් නියම කිරීමට එරෙහිවීම, සමලිංගික අයිතිය වෙනුවෙන් පෙනීසිටීම, ස්ත්‍රී විමුක්තිය උදෙසා ව්‍යාපාර ගොඩනැගීම හා ළමා ලිංගික අපයෝජනයට එරෙහිවීම මෙම ක්‍රමයේ සුසංගත භාවය ආරක්ෂා කිරීමක් වන අතර එකවිටම ඒ සියල්ලටම ඉහලින් අතිශය මුලික අයිතියවන සියල්ලටම මිල නියම කිරීමද  කොන්දේසි විරහිතව සුරක්ෂිත කරනු ඇත. මෙම සුසංවාදී නිර්මිතය අභියෝගයට ලකක්රන්නන් ද්‍රෝහීන් වන අතර එවැන්නන් විනාශකිරීම ක්‍රමයේ ශුධවූ අයිතියක් වේ.
ග්‍රමිස්කිගේ හෙජමොනික ව්‍යුහය පමණක් සැලකීමෙන් පමණක් වුව ආදරය ලිබරල් සමාජය තුල හඳුනාගන්නා හා එම සංකල්පය ස්ථානගත කරන ආකාරය සමාජයේ විවධ පංතීන් මත උත්තරරෝපනය වනවා පමණක් නොව අන් විකල්පයන්ද අහිමි කරනු ඇත.

ආදරයේ අලුත්ම පැහැය....

වැලන්ටයින් දිනය මුලික කරගනිමින් ආදරය උදෙසා කාඩ්පත්, මල්, තෑගී ඇතුළු වෙනත් බොහෝදේ ඍජුවම වෙළඳපොළ අවස්ථාවන් නිර්මාණය කරගන්නා අතර දුරකථන හා රෙදිපිළි සමාගම් සිය නිමවුම් වක්‍ර මාර්ග මගින් වෙළදපොල වෙත ගෙන එම සිදුකරයි. ලාභය සඳහා විකිණීමේ ශුධවූ අයිතිය ඉදිරියේ විවිධාංගි කරණය කරනු ලැබූ ප්‍රාග්ධන හා ශ්‍රම සැපයුම ආදරය සරල මිල හා බල සම්බන්ධතා දක්වා ඌණනය 

කරනු ඇත. ඒ අනුව තවදුරටත් විනෝදය උදෙසාවූ සමාජයේ ආදරය යනු ආත්මමුලික අව්‍යාජ සම්බන්ධයක් නොවේ.
තමන් හා තම විනෝදය පරාරෝපණය තුලින් තමන්ගෙන් පිටත විවිධ නිෂ්පාදනයන් [ටැබ්, බ්ලැක්බෙරි] වෙත පවරාදෙන්නන් අහිමිවූ විනෝදය පරමාදර්ශී අනෙකෙකු තුලින් සොයන්නට අනවරත උත්සාහයක නියැලෙනු ඇත.     
ඒ අනුව සමකාලීන ආදරය නව ආකාරයක් ගෙන ඇත. එනම් ආත්මමුලික ජන්මයෙන් විතැන්ව වාස්තවික ජන්මයක් වෙත එළඹීමය. එතැන් පටන් නොවැලක්විය හැකි ලෙසම ආදරය සම්බන්ධතාවක් නොවී ගිවිසුමක් දක්වා පසුබසිනු ඇත.
මංගල දැන්වීම් හරහා අප දකිනුයේ මේ බල හා දේපළ මත ගිවිසුම් සඳහා සිදුකරන අර්පණයන්ය.
එමෙන්ම මේ වාස්තවික විතැන්විම කොතරම් ප්‍රභල වීදයත් තමන් විසින් පරිකල්පනය කරනු ලබන අනෙකාගේ විනෝදය අත්පත්කරගැනීම හෝ තර්ජනයට ලක්කිරීම මෙවන් ගිවිසුම්හි අවසානාත්මක ඵලය වනු ඇත.

වයස අවුරුදු දහඅට පිරුණු දිනට පසු දිනම තම වැඩිමහල් පෙම්වතා සමග රහසින් විවාහ වන තරුණියක් වසරකුත් මාස කිහිපයකට පසු තරුණයන් කිහිපදෙනෙකු තම සතුට වෙනුවෙන් සොයා යන්නේත්, විවාහයට සියලු පාර්ශව හි ආශීර්වාද මැද දින නියම කරගන්නා පෙම්වතෙකු හා පෙම්වතියක, එක්වනම තම සම්බන්ධය අත්හරිනට යෝජනා කරන පෙම්වතිය ඉදිරියේ පෙම්වතා අසරණ වන්නේත්, මධුසමය නිමවූ සැනින් තම සැමියා නැති නිවසට බිරිඳ අනියම් පෙම්වතා කැඳවාගන්නෙත් එවැනි දේ වසංගත ස්වරුපයෙන් පැතිරයන්නෙත් තමන් අහිමිකරගත් විනෝදය පරිපුර්ණ අනෙකෙකු තුලින් අත්පත් කරගැනීමට හෝ අනෙකෙකුගේ විනෝදය තර්ජනයට ලකිරිම තුලින් තම අහිමි විනෝදය අත්පත් කරගනීමට හැකිවේ යන්න මතවේ.     
ස්ටර්න්බර්ග්, ලී ඇතුළු බොහෝදෙනෙකු සිය බුද්ධිමය එළඹුමේදී ගැටළුව අර්ථදක්වන නමුත් ගැටළුව ප්‍රශස්ථ ලෙස නිරාකරණය සඳහා ප්‍රාමාණික හා න්‍යායික ශක්‍යතාවක් නොදක්වන්නේ අදාල සංකල්පයන් සමාජ, ආර්ථික හා දේශපාලනික යථාර්තයෙන් වියුක්ත කොට එම කතිකාව ගොඩනැගීමේ නිසඟ ලිබරල් අබාධය නිසාය. 
ධනේශ්වර දේශපාලන නිර්මිතයේ ඕනෑම ප්‍රවර්ගයක් දෙනලද ඕනෑම ජනසමාජයක පුද්ගලයන්තුල ආදරය ඇතුළු කවරහෝ ප්‍රවර්ගයක ප්‍රපංචයක් හමුනොවිමේ [විනෝදය කරා එළඹීමට] අඩුව ඒත්තු ගැන්වීමේදී අනුගමනය කරනුයේ එකම විධික්‍රමයකි. එනම් ඔබට ආදරය තුලින් විනෝදය හමු නොවන්නේ ඔබගේ පරිපුර්ණ අනෙකා අත්පත් කරගැනීමට ඔබවිසින් සපුරාලියයුතු භෞතික කොන්දේසි සපුරා නොමැති වීම හෝ ඔබේ පරිපුර්ණ අනෙකා, තවකෙකුගේ විනෝදය සොරාගැනීමෙන් පමණක් අත්පත් කරගත යුතු බව නැතිනම් ඔබට සැමවිටම සතුරෙකු සිටින බව ඒත්තු ගැන්වීමෙන් වේ.   
සමස්ථය මෙසේ සම්පිණ්ඩනය කලහැක...
ආදරය තවදුරටත් ආදරය නොවේ..
ආදරය දේශපාලනික නොවේ:
එය දේශපලනිකයේ අසමත්භාවයේ ප්‍රකාශයයි....

දුක්බරම කවියක් වෙලා - එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා - අවසානයට පෙර ඈ ගියා 

Comments

Popular posts from this blog

කියුබාව අලුත් කරන්න - ඇමරිකාව අලුත් වෙන්න

  කියුබාව සොයා ගැනීම 1492 ඔක්තෝම්බර් 28 ස්පාඤ්ඤ දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොළොම්බස් ගොඩ බට, මෙක්සිකානු බොක්කේ නැගෙනහිරට හා ෆ්ලොරිඩා සමුද්‍ර සන්ධියේ දකුණට වන්නට පිහිටි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 109844 වන 17 වන විශාලතම දූපත ඔහු නම් කරනු ලැබුවේ ජුවානා ලෙසය. ඒ එවකට ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි කුමරා ගේ නමිනි. නමුත් ඒ වන විටත් එහි ජීවත් වූ ස්වදේශික ටායිනෝ (Taíno) ජනයා එම භූමිය හඳුන්වනු ලැබුවේ කියුබාව ලෙසය. එතැන් පටන් 1898 වර්ෂයේ ස්පාඤ්ඤය ඇමරිකන් යුද්ධය අවසන් වන තෙක් කියුබාව ස්පාඤ්ඤ යටත් විජිතයක් ලෙස පැවතුණි. කුළුබඩු රත්තරන් සහ වෙනත් සම්පත් සොයමින් පැමිණි නැගී එන අධිරාජ්‍යයන්ගේ නියෝජිතයන් වූ කොළොම්බස් ඇතුළු තවත් දේශ ගවේෂකයන් ඔවුන් පැමිණ ශත වර්ෂ 4 ක් ගතවන තැන දී ඇමරිකානු මහද්වීපයේ තම බලය තහවුරු කොට ගෙන තිබුණි. ඇමරිකාවේ නැගීම හා ව්‍යාප්තිය 1607 දී වර්ජීනියාවේ ජේම්ස් ටවුන් ප්‍රාන්තය පිහිටුවමින් ඇරඹී එංගලන්ත යටත් විජිත ප්‍රාන්ත 13ක් වර්ෂය 1776 ජූලි 4 නිදහස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 1783 වර්ෂයේදී ඇමරිකානු ධනේශ්වර විප්ලවය සම්පූර්ණ කරමින් සන්ධීය සමූහාණ්ඩුවක් බිහි කරන ලදී. එතැන් සිට එක්සත් ජනපද සමූහාණ්ඩුව සිය

තොටියෙක් තැවෙනවා හබලක් අතේ තියා

තිසරුන් තෙමන ගිනියම් මහා රැයක් ගෙවා බඳ රැලි බිඳින නැඹ විල යාගය කලා රත් මධු වගුල විල්තෙර යන දෙගොඩතලා තොටියෙක් තැවෙනවා හබලක් අතේ තියා

ඉඳින් අපි හැඟුම් වලට ඉඩ දෙමු...

වික්ටර් ගේ මේ ගීතය කාලෙකින් කනවැකුණු මොහොතේ එක්වරම එහි ඇති අතිශෝභාමාන උපමා උපමේය මගේ හදවත පමණක් නොව භෞතිකයද මොහොතකට නතර කරවන්නට සමත්වුණු බවක් මට හැඟීයේ.... අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . . හඳ පානේ . . මඳ අඳුරේ . . . අත් පටලා යමු ආයේ . . . ප්‍රේමනීය මිනිසෙක් සිය ප්‍රේමිනිය වෙත මේ මුදා හරින ඉල්ලීම ඇත්තෙන්ම මහා බරක් සිය සිත්හි දරාගනිමින් කරන්නේ යැයි වියතක් තරම් වූ කුඩා ඉඩක් පමණක් යෝජනා කිරීමෙන් පමණක්ම වටහා ගතහැකි. ප්‍රේමනීය හැඟුම් කිසිවිටකත් මොහොතකින් හෝ වියතක් තරම් ඉඩක දිගහැරීම උගහට බවක් අවශ්‍යයෙන්ම ප්‍රකාශ තුල ගැබ්කරන රචකයා මේ නොහැකියාව නැතිනම් ඇරයුමෙ අභව්‍ය ස්වරුපය ගෙන හැර දක්වන්නේ එවන් කෙටි කලකින් කෙටි ඉඩකින් ඔහුගේ ඇරයුම දෙදෙනා අත්පටලවා ගෙන හඳපානේ ඇවිදයාමේ මිහිරි ආද්‍යාශය බව කීමෙනි. ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී . . අවුදින් හෙමින් රහසින් මුමුනා හඳ පානේ මඳ අඳුරේ . . . මේ පෙම්වතාගේ ආදරණිය ආද්‍යාශය වූකලී වඩාත් ලෝකයෙන් වෙන්වූ, නොඑසේනම් ලොවට හොරා,එසේත් නැතිනම් අඩුම තරමින් සිය සෙවනැල්ල පවා නොදැන හමුවන එකක් විය යුතු යැයි යෝජනා කරනු